ආර්ය අෂ්ඨාංගික මාර්ගය
- Apr 16, 2017
- 4 min read

මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු චන ආර්ය සත්‍යය යි. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි. මෙහි ප්‍රධාන වන්නේ ප්‍රඥාව වේ, පහත දැක්වෙන ලෙස සම්මා දිට්ඨි, සඞ්කප්ප අයත් වන්නේ ප්‍රඥාව යටතටයි.ඉන් පසු පිළිවලින් ශිල , සමාධි ලෙස දැක්වේ. සිධ්ධාර්ථයන් බුද්ධත්වයට උපකාරී වුයේ ප්‍රඥාව මුල්කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම තුලිනි
1.සම්මා දිට්ඨි 2.සම්මා සඞ්කප්ප (නෙක්ඛම්ම , අව්‍යාපාද , අවිහිංසා) 3.සම්මා වාචා 4.සම්මා කම්මන්ත 5.සම්මා ආජීව 6.සම්මා වායාම 7.සම්මා සති 8.සම්මා සමාධි
සම්මා දිට්ඨි
සම්මා දිට්ඨිය යනු අන්තගාමී නොවන (ඇත යන හෝ නැත යන ) අන්තයන්ට නොගොස් මද්‍යයේ සිට දැක්ම(කච්ඡායන ගොත්ත සූත්‍රය). සතර සතිපට්ඨාන සූත්‍රය සම්මා දිට්ඨිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි" යනුවෙන් බුදු රජාණන් වහන්සේ එය විස්තර කර ඇත. "කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ. සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනීම බව මෙයින් පැහැදිලි වේ. සම්මා දිට්ඨිය පිළිබඳ ව බුදු රජාණන් වහන්සේ විවිධාකාර යෙන් විවිධ සූත්‍රවල දේශනා කර ඇත. සම්මා දිට්ඨි සූත්‍රය 16 ආකාරයකින් එය විස්තර කර ඇත. චත්තාරීසික සම්මාදිට්ඨි සූත්‍රය 40 ආකාරයකින් සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇත. මහා කච්ඡායන සූත්‍රයවල ද සම්මා දිට්ඨිය විවිධාකාරයෙන් දක්වා ඇත.
සම්මා සඞ්කප්ප
සම්මා සංකප්ප යනු යහපත් සංකල්පනා ය. යහපත් සංකල්පනා යනුවෙන් අදහස් කරන්නේ වැරැදි සංකල්පනාවලින් ඈත් ව නිවැරැදි සංකල්පනා ඇති කර ගැනීම යි. මේ නිවැරැදි සංකල්පනා කොටස් තුනකි.
1. නෙක්ඛම්ම සංකල්පනා 2. අව්‍යාපාද සංකල්පනා 3. අවිහිංසා සංකල්පනා
සම්මා වාචා
දීඝ නිකායේ සතිපට්ඨාන සුත්‍රයේ සම්මා වාචා මාර්ග අංගය සතර ආකාරයකින් සඳහන් කර ඇත. “කතමාච භික්ඛවේ සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනාය වාචා වේරමණී , ඵරුසාය වාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී, අයං වුච්චති භික්ඛවේ සම්මා වාචා.” “මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ.
සම්මා කම්මන්ත
"කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තා" මොනවද මහණෙනි යහපත් කර්මාන්ත කියන්නෙ? "පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචරියා වේරමණී (නැතිනම් කාමේසු මිච්ඡාචාරා වේරමණි) සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා කම්මන්ත ආරක්ෂා කළ යුතු ය.
සම්මා ආජීව
යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි.
සම්මා වායාම
සම්මා වායාම යනු යහපත් උත්සාහය යි. එම උත්සාහ ගත යුතු කරුණු ගැන, සතර සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සුත්‍රවල බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත. "කතමෝච භික්ඛවේ සම්මා වායාම? ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති, විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති, උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති" නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු යි. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු යි. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු යි. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු යි. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම; එනම් සතර සතිපට්ඨාන ධර්ම, සතර සම්ම ප්‍රධාන විර්යය (සම්මා වායාම යනු මෙයම යි.) සතර ඉද්ධිපාද, (ඡන්ද, චිත්ත, විරිය, වීමංසා) පංචෙන්ද්‍රිය, පංච බල, (ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පහ ඉන්ද්‍රිය ධර්ම හා බල ධර්ම ලෙස සැලකේ. ) සප්ත බොජ්ඣඬ්ග (සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යනු සප්ත බොජ්ඣඬ්ග යි.) යනාදිය නූපන් කුසල ධර්ම යි.
සම්මා සති
සම්මා සතිය යනු යහපත් සිහිය යි. බුදු රජාණන් වහන්සේ බොහෝ තැන්වල සම්මා සතිය විස්තර කර ඇත්තේ මෙසේ ය. "ඉධ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේසු චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සි විහරති...." කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන කරුණු හතර සම්මා සතිය ලෙස හැඳින්වේ. සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ.
සම්මා සමාධි
සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත. "නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතෝ" යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සිතේ එකඟ භාවයක් නැති තැනැත්තාට ප්‍රඥාවක් ඇති නොවේ. ‛උපතින් ප්‍රඥාව නැති තැනැත්තාට සිතේ එකඟ භාවයක් ලබා ගත නොහැකි ය.’ යන්න එහි අදහස යි. සිත සමාධි ගත කර ගත් තැනැත්තාට ප්‍රථම දෙවන තෙවන සිවු වන යන කාමාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. රූපාවචර ධ්‍යාන හතර ලැබිය හැකි ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග ඵල ලැබිය හැකි ය. සම්මා සමාධිය ඇති කර ගැනීමට නම් පළමුවෙන් සම්මා සතිය ඇති කර ගත යුතු යි. අනතුරු ව භාවනා මාර්ගයේ ගමන් කිරීමෙන් සමාධිය ඇති කර ගෙන නිවනට පත් විය හැකි ය.
තොරතුරු විකිපීඩියා අඩවියෙන්



















Comments