top of page

පැවිදි වෙනවා ද විවාහ වෙනවා ද ?

  • hedigalle soratha thero
  • Apr 16, 2017
  • 4 min read

පැවිදි වෙනවා ද විවාහ වෙනවා ද යන දෙගිඩියාව වසර ගණනාවක් තිස්සේ ඔහුට කරදර කළා. ගුවන්විදුලියෙන් බණ අසන්නට අසන්නට එයට සිත ඇලෙනවා වැඩි බව ඔහුට දැනුණා. එසේ වුව හොත් විවාහය තව-තවත් කල් යාවි යැ යි ඔහුට හිතුණා. එසේ සිතා බණ ඇසීම අඩු කළා. විවාහ වෙන්නට දැඩි ආවේගයක් නොඑන්නේ ඇයි ද යන්න ඔහුට ප්රශ්නයක් වුණා. ආශාව නැද්ද? එසේ නැති නම් ආශාව අඩු ද? නැත. ඔහු බොහෝ කාමුක කෙනෙක්. ඔහු ස්ත්රී ශරීරයට බොහෝ ඇලුම් කළා.

විවාහයට යම් බියක් වත් ඇද්දැ යි සිතී ඔහු උපදේශකයකුගෙන් උවදෙසුත් ගත්තා; ඒ කියන්නේ මනෝ චිකිත්සනයක් කරගත්තා. එයින් ඔහු ඒ තරම් වෙනස් වුණේ නෑ.

දිනක් ඔහු දේවාලයකට ගියා; දේවාලයේ මෑණියන්ට කාරණය කීවා. “දැන් මේ දරුවට මොකක් ද වෙන්න ඕන? මහණ වෙන්න ද? විවාහ වෙන්න ද?” මෑණියෝ ඇසුවා. “විවාහ වෙන්න මෑණියනි” ඔහු කීවා. පූජාවක් තියන්න ආයෙත් දේවාලයට යන්න දිනයක් ලැබුණා. ඔහු නැවත එහි ගියේ නැහැ. කාලෙකට පසු ව නැවතත් ඔහු දේවාලයකට ගියා. යන්තරයක් පලඳීන්න නියම වුණා. ඔහු ඒක පැලඳගත්තෙ නැහැ. ඔහු පැවිදි වුණෙත් නෑ; විවාහ වුණෙත් නෑ.

කාලය ගෙවී ගියා. ඔහුගේ වයස අවුරුදු තිස්පහ සම්පූර්ණ වන්නට දින කිහිපයක් තිබියදී ඔහුගේ හිතට විශාල ආවේගයක් පැමිණියා. තම කාමරය ඉදිරියේ ඇති අඹ ගස යට පුටුවක් තබා ගත් ඔහු “විවාහ වෙනවා ද? පැවිදි වෙනව ද?” යන ප්රශ්නයට වහා ම පිළිතුරක් සොයාගන්නට සිතාගෙන පුටුව මත වාඩි වුණා. ඔහු සිතන්නට පටන් ගත්තා. ඔහු තමාගෙන් ම ප්රශ්න ඇසුවා. ඔහු ම පිළිතුරු දුන්නා.

“විවාහ වෙන්න ද කැමැති? මහණ වෙන්න ද කැමැති?” “විවාහ වෙන්න.” “ඇයි?” “ලිංගික ආස්වාදයක් ලබන්නට.” “ඒකට ම ද?” “විශේෂයෙන් ඒකට.” “එයට විවාහ විය යුතු ම ද?”

“ඔව්, නැති නම් එය සපුරගන්න වෙන්නේ නීති විරෝධි, සමාජ අසම්මත, අගෞරවනීය ක්රමවලින්, මම ඒකට කැමැති නෑ.” “ලිංගික ආස්වාදය ලබන්නට අවශ්ය නැති නම් විවාහ වෙන්න අවශ්ය නෑ නේ ද?”

“ඇත්තට ම ඔව්.” “ඉතිං ලිංගික ආශාව නැති නම් ලිංගික ආස්වාදය ලබන්නට අවශ්ය නෑ නේ ද?” “ඇත්තට ම ඔව්.” “මොන ක්රමයකින් හරි ලිංගික ආශාව නැති කරගත්තා නම් විවාහ වෙන්න ඕන නෑ නේ ද?” “ඔව්! දැන් මට තේරෙනවා. බණ අහන වෙලාවට මට කාමුක සිතිවිලි පහළ වෙන්නෙ නෑ. ඕන තරම් වෙලාවක් බණ අහන්න පුළුවන්. වැඩි-වැඩියෙන් බණ අහන්න ඕන. එතකොට ටිකින් ටික ආශාව අඩු වේවි; ටිකින් ටික මහණ වෙන්නට ම හිත හැදේවි.” ඔහු එසේ හිතුවා. ඔහු තව තවත් හිතුවා:

“බණ අහනවා කියන්නේ හොඳ දෙයක්. හොඳ දෙයක් කරන්න හිතෙන එක කොච්චර හොඳ ද? බණ අහන එක වැඩි කරනවා මිස අඩු කරන්න හොඳ නෑ. බොහොම පහසුවෙන් බණ අහන්න පුළුවන් රේඩියෝ-එකෙන්.”

ඔහු දින කිහිපයක් දිනපතා ම ගුවන්විදුලියෙන් ධර්මය ශ්රවණය කළා. තව-තවත් ධර්මය ශ්රවණය කරන්නට හිතුණා. එක රාත්රියක ඔහුට ඇසුණා “සතර සතිපට්ඨානයට අනුව කටයුතු කිරීමෙන් ඉතා ඉක්මනින් නිවන සාක්ෂාත් කරගත හැකි යි” යනුවෙන්. ඔහුගේ හිතවත් ගුරු මහත්මයකුගේ මාර්ගයෙන් ඔහු සතර සතිපට්ඨානය නමැති ග්රන්ථය සොයාගත්තා. ඒ පොත ඉතා සැලැකිල්ලෙන් පරිශීලනය කළා; එයින් ලැබුණු දැනුමට අනුව සිතන්නට පටන් ගත්තා.

ධර්මය ශ්රවණය කරන පැය ගණන ඔහු ක්රමයෙන් වැඩි කළා. ගුවන් විදුලි නාළිකා කිහිපයක ම ධර්මය ප්රචාරය වන බව ඔහු සොයාගත්තා. රාත්රී හතේ සිට අට දක්වා… අටේ සිට නවය දක්වා… නවයේ සිට දහය දක්වා…. ආදී වශයෙන්. එසේ ම උදේ අටේ සිට නවය දක්වා ක්රමයෙන් ධර්ම ශ්රවණයටත් ඔහුගේ සිත ඇලී ගියා. ධර්ම ශ්රවණයෙන් පමණක් ඔහු නතර වුණේ නෑ; ධර්මයට අනුව සිතන්නටත් පටන් ගත්තා.

තමාට බෙහෙවින් ම කරදර කරන්නේ ස්ත්රීන් පිළිබඳ උපදින රාගය බව තේරුම් ගත් ඔහු එය අඩු කරගන්නට ධර්මය ප්රයෝජනයට ගත්තා. තමාට මෙතෙක් බෙහෙවින් ම කරදර කළ රාගය අඩු වන වේගය පිළිබඳව ඔහු විස්මයට පත් වුණා. ඔහු පළමු වරට යම් තරමකින් හෝ අපේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ධර්මය තුළින් දුටුවා. ධර්මයට අනුව සිතීමේදී සිදු වූ මානසික වෙනස්කම් ඔහු පොතක සටහන් කරන්නට පටන් ගත්තා. මාසයක් ගත වන්නටත් පෙර ඔහු වරින් වර පහත සඳහන්

ආකාරයට තමාගේ සිතේ වෙනස් වීම සටහන් කළා:

අඩු කළ විට රාගය අඩු කළ විට ද්වේෂය අඩු කළ විට මෝහය දැනේ නම් මෙසේ නැති කළ විට මුළුමනින් ම දැනේවි ද කෙසේ?

ආපෝ තේජෝ වායෝ පඨවී සියලු සිරුරුවල ඒවා පමණී

කේශා ලෝමා නඛා දන්තා දෙතිස් කුණපයෙන් සතරක් පමණී

වෙන් වීම් දුක දෙන හමු වීම් කුමට ද?

සැප දෙන ඇසුරට තබමි තිත. වරින් වර වරින් වර නොවිඳිනු පිණිස දුක

භයංකර සසරට තව-තවත් අලවන කදිම මැලියමකි

ස්ත්රී පහස

දැනට නැති ඇසුරක් අරඹා දැනට නැති අයුරින් වෙළී ගලවාගත නොහැකි ව ඇලී කුමට ද ගිලෙන්නේ සසරට වැටී?

යම් හේතුවකින් හටගත් දෙයකී විපාක දීමට සැකැසුණු දෙයකී ජරාවට යමින් පවතින දෙයකී මේ ගත නැත්තට නැති වන දෙයකී

දියරය තද දෙය පවතින දෙයකී වාතය උණුසුම පවතින දෙයකී දෙතිස් කුණපයෙන් සැකැසුණු දෙයකී මේ ගත නැත්තට නැති වන දෙයකී නොයෙකුත් ලෙඩ දුක්

වැලැෙඳන දෙයකී නිතර ම චලනය සිදු වන දෙයකී ඇති වී නැති වන දේ ඇති දෙයකී මේ ගත නැත්තට නැති වන දෙයකී

දමාගෙන කටට

සපා හොඳට උගුරෙන් යටට ගිලීමත් සමඟ දකී කෙළවර දිව විඳි රසය

ඒ රසය වින්දේ… පර පණ නසා ද එයට අනුබල දී ද එයට පොලඹවා ද

සූදානම සුදුසු ය යන්න නිරයට

යමක් කරන විට උපදී ද රාගය උපදී ද ද්වේෂය වැඩේ ද මෝහය කුසල් සේ පෙනුණත් ඒ අකුසල් ම ය

අනෙකක් නො වේ ම ය

ඇරැඹුමක් කිව නොහැකි මේ සසර ගමනෙදී සැප වේදනා දුන් සියලු රූපයන්ට වෙනස් වූ රූපයක් අලුතින් ම දැකගන්න තිබේ ද ඉතිරි ව?

ඇරඹුමක් කිව නොහැකි මේ සසර ගමනෙදී සැප වේදනා දුන් සියලු ගන්ධයන්ට වෙනස් වූ ගන්ධයක් අලුතින් ම විඳින්නට තිබේ ද ඉතිරි ව?

ඇරැඹුමක් කිව නොහැකි මේ සසර ගමනෙදී සැප වේදනා දුන් සියලු රසයන්ට වෙනස් වූ රසයක් අලුතින් ම විඳින්නට තිබේ ද ඉතිරි ව?

ඇරැඹුමක් කිව නොහැකි මේ සසර ගමනෙදී සැප වේදනා දුන් සියලු ශබ්දයන්ට වෙනස් වූ ශබ්දයක් ශ්රවණය කරන්නට තිබේ ද ඉතිරි ව?

ඇරැඹුමක් කිව නොහැකි මේ සසර ගමනෙදී සැප වේදනා දුන් කායික සැපයන්ට වෙනස් වූ සැපයක් අලුතින් ම විඳින්නට තිබේ ද ඉතිරි ව?

ඇරැඹුමක් කිව නො හැකි මේ සසර ගමනෙදී සැප වේදනා දුන් සියලු අරමුණුවලට වෙනස් වූ අරමුණක් අල්ලාගන්නට තිබේ ද ඉතිරි ව?

ඇරැඹුමක් කිව නොහැකි සසර ගමනෙදී ලැබූ සළායතනයන්ට වඩා වෙනස් වූ යම් දෙයක් අලුතින් ම ලබන්නට තිබේ ද ඉතිරි ව?

විසූවත් සැප සේ දෙවියෙක් ව යම් දිනක ඉන් චුත ව අපාගත ව දුක් විඳින්නට වීමේ අවදානමක් ඇති මේ භව ගමන හොඳටෝම ඇති දැන්…

ගලන කිසිත් නැති උණුසුමකුත් නැති වාතයකුත් නැති තද දේවල් නැති ඇති වීමකුත් නැති නැති වීමකුත් නැති ඇලීමකුත් නැති ගැටීමකුත් නැති ආයාසයන් නැති ජරා මරණ නැති මානයනුත් නැති පිපාසයන් නැති හඳුනාගැනීම් නැති විඳීමකුත් නැති කිසිවක් ම නැති නිවීම ම ඇති.

コメント


දහම් අඩවියේ  අරමුණ ෴

 

නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී.....

 

යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද

යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයක ප්‍රතිඵලයකි දහම් අඩවිය ...

Site Of Dhamma -By  Hedigalle  soratha  thera   all copyright @2017

bottom of page